කෙප්ප ඇරඹුම...

 


සෑහෙන කාලෙක ඉඳන් මම බ්ලොග් කියවන එකෙක්, මම හිතන්නෙ අවුරුදු 10-12 කට වැඩියි. හැමදාම බ්ලොග් එකක් ලියන්න ඕනෙ කියල හිතුවත් වැඩේ කරන්න වෙලාවක් නෑ. ගෙදර වැඩයි, ඔෆිස් වැඩයි, තව ඉතින් නිකන් ඉන්න වෙලාවට ඔය බුකිය පැත්තෙ යනවා, නැත්නම් යූ බටේ බලනවා, නැත්නම් නෙට්ෆ්ලික්ස්, එහෙම නැත්නම් කොහෙහරි රස්තියාදුවක. ඒ නිසා මේක කෙරුණෙම නෑ, දැන් අලුත් ජොබ් එකක් කරනවා, ගොඩක් වෙලාවට නිකන් ඉන්නෙ, ඔෆිස් එකේ නිසා මම නිකන් ඉන්න වෙලාවට කරපු එක වැඩක්වත් කරන්න බෑ, ඔන්න ඒ නිසා බ්ලොග් එකක්වත් ලියන්න කියලා හිතුවා.

මම අන්තිමට සිංහලෙන් ලිව්වෙ උසස් පෙල කරන කාලෙ මයෙ හිතේ, ඊට පස්සෙ ඔය කොහෙහරි කොමෙන්ට් කෙටුවට, වැදගත් දෙයක් සිංහලෙන් ලියලම නෑ. ඒ නිසා සමහරවිට හාෂා දැනුමනම් අන්තිම ඇති, හරියට උක්ත ආඛ්‍යාත ගලපල, හරි සිංහලෙන් ලියන එක ඇත්තටම අමාරු දෙයක්, ඒත් ඔන්න ඔහේ තේරෙන සිංහලෙන් ලියනවා කියලා හිතුවා. 

පලවෙනි දවසෙම මොනවද ලියන්න ඕනෙ කියලා බ්ලොග් පකීර්ලා කීප දෙනෙක්ගෙ බ්ලොග් පැත්තෙ ගිහින් බැලුවා, රසිකොලොජි, කොළඹ ගමයා, මාතලන්, ඉකොනො මැට්ටා, හැලපයා, හිස් අහස වගේ. මේ ඔක්කොම අවුරුදු 10ක් හෝ ඊට වැඩිය බ්ලොග් ලියා ඇති නිසා, බ්ලොග් පකීර් යන ගෞරව නාමයෙන් හැඳින්වීම වැරදි නෑ. හැබැයි ඉකොනො මැට්ටා තමයි පොඩ්ඩක් අල්ලල යන ඉන්ට්‍රො එකක් ලියලා තියෙන්නෙත්, පොරත් වැඩ අධික එකෙක් නිසා, ලියලා තියෙන ආකාරය හොඳයි. 

මම බ්ලොග් ලියන්න පටන් ගන්න එන්නෙ, බ්ලොග් කලාව බැස යන යුගයක. සමහර එවුන්ට බ්ලොග් එපාවෙලා, තව උන් යූබටේට ගිහින්, තවත් සමහර එවුන් බුකියෙ ලියනවා. මට හිතෙන්නෙ, යූබටේ තියෙන්නෙ බ්ලොග් කරන්න නෙවෙයි, ගොඩක් එවුන් කැමරාවක් අටවගෙන ඔහේ කියවනවා. ඒවා බලන ලංකාවෙ එවුන්ගෙ ඩේටත් අපරාධෙ, මොකද ඌගෙ මූණත් තහඩුව බලන්න ඩේටවලට ගෙවන්න වුණාට, කරන්නෙ රේඩියෝ කතාවක්. මේ වගේ උන්ට ශ්‍රව්‍ය මාධ්‍ය විතරක් තියෙන, අඩු ඩේටා ප්‍රමාණයක් වැයවන, වෙන ප්ලැට්ෆෝම් එකක් තිබුණනම් හොඳයි.  

ඒ කොයි හැටි වෙතත්, මට හිතුණා මේ බ්ලොග් එක රොබටගෙ කෙප්ප කියලා නම් කරන්න. රටවල් කීපයක ජීවත්වෙලා අත්දැකීම් ටිකක් තියෙනවා ලියන්න, ඒ නිසා ඉදිරියට ඇත්ත අත්දැකීම කෙප්ප වගේ ලියන්නම්. "ඒවල, අලුත් කතයි, ඇත්ත කතයි තියෙයි, ඇත්ත ඒවා අලුත් නෙවෙයි, අලුත් ඒවා ඇත්ත නෙවෙයි" මෙහෙම කිව්වෙ කාලො ෆොන්සේකා, නලින් ද සිල්වගෙ කතාවලට, මම හිතන්නෙ ඒක මගේ කතාවලටත් ගැලපෙයි.  


Comments